Monday, December 22, 2014

ආදරණීය නිවහනක් වෙනුවෙන් සැලකිලිමත් වෙන්න


ඔබ ජීවිත කාලය පුරා මෙතෙක් උපයාගත් මුදල හා අනාගතයේ ඉපැයීමට නියමිත මුදල පවා යොදවා ගොඩනංවන සිහින නිවහන ජීවිත කාලයටම උරුමයක් මිස කරුමයක් කර නොගන්නට මේ වැදගත් කරුණු ඔබට අනිවාර්‍යයයෙන්ම ප්‍රයෝජනවත් වනු නියතය.

තනි තට්ටුවේ ඉතාම සරල නිවහනක් නම් එය බාසුන්නැහේගේ අත්දැකීම් දැනුම යොදාගෙන හැදුවාට එතරම්ම වරදක් නැත. නමුත් තට්ටු එකකට වඩා වැඩි හෝ ඒ තරම්ම සරල නොවන නිවස්නක් ඉදිකිරීමේදී බාසුන්නැහේගේ දැනුම පමණක් බාවිතා කිරීමෙන් අනාගතයේදී අති විශාල අර්බුදවලට මැදිහත්වීමට සිදුවිය හැකිය. සමහර විට එය විශාල ජීවිත අනතුරක් විය හැකිය. එසේත් නොමැතිනම් නිවස සෑදීමට යන මුදල මෙන් දෙගුණයක් වැය කිරීමක් විය හැකිය. එසේත් නොමැති නම් ඉදිකිරීමට වැය කල මුදල හා සමාන මුදලකට අලුත්වැඩියාවක් ඉතා කෙටි කාලයකින්ම යෙදෙන්නක් විය හැකිය.


ජීවිත කාලය පුරාවටම සැපවත්ව ජීවිතය ගත කිරීම සදහා නිමවන නිවහනේ ගෘහ නිර්මාණ ශිල්පියාගේ සැලැස්ම (Architectural Plan) ඉඩමේ ඉඩ කඩ නිවැරදිව යොදාගනිමින් සිත්ගන්නා සුලු ලෙස දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු (An Architect) ලවා අන්දවාගත යුතුය. ඔහු හා සාකච්ඡා කරමින් අවශ්‍ය වෙනස් කම් සිදු කර ගත යුතුය.


ඉන් පසු ඇත්තේ වැදගත්ම කොටසයි. Architectural Plan එක කොපමණ අලංකාර වුවද එය ප්‍රාෙයා්ගික නොවේ නම් වැඩක් නැත. ඔහු විසින් අදිනු ලැබූ සිහින මාළිගය යතාර්ථයක් කරගනු පිණිස ඉදිකිරීමට අවශ්‍ය ඉංජිනේරු සැලසුම් සිවිල් ඉංජිනේරුවෙකු ලවා කරවා ගත යුතුය. එවිට Architectural Plan එකේ ඇති අස්වාභාවික හෙවත් ප්‍රායෝගිකව තැනිය නොහැකි කොටස් සහ වියදම අධිකව වැය වන කොටස් සදහා සිදුකල යුතු වෙනස්කම් පිළිබදව ඉංජිනේරු මහතා ඔබව හා ගෘහ නිර්මාණ ශිල්පියාව දැනුවත් කරනු ඇත. 


එසේ Finalize කර ගන්නා නිමැවුමට ඉන් පසුව ඉංජිනේරු මහතා විසින් ත්‍රිමාන මොඩලයක් (සැකැස්මක්) පරිගණකයෙන් නිමවා, පසේ ස්වභාවය හා ඒ මත යෙදෙන බලයන්ට අනුකූලව (සුළගට, වැස්සට, සෝදාගෙන යෑම්වලට, වහලයේ බර දැරීමට, ඉරිතැලීම් හා කඩාවැටීම් නොවීමට) සැදීමට නියමිත නිවස හැසිරෙන ආකාරය කලින්ම සොයාගනු ඇත. ඉංජිනේරු Drawings ඇදීම ආරම්භ වන්නේ ඉන් පසුවයි.

සෑදීමට යොදාගත යුතු කොන්ක්‍රීට්, ගල්, වැලි, කම්බි හා අනෙකුත් අමුද්‍රව්‍යද වෙනත් විශේෂ දේවල්ද ඇතුළත් කරනු ලබන General Notes Drawings පළමුව ඉංජිනේරු මහතා ලබා දෙනු ඇත. ඉන් පසු පිහිටි පොළවේ අත්තිවාරම් කැපීම පිළිබද Ground Excavation Drawings ලබා දෙනු ලැබේ. ඉන් පසු කම්බි සැකැස්මද සහිත අත්තිවාරම් පිළිබදව වන Foundation Drawings ද කණු පිළිබදව වන Column Drawings ද තළාද පිළිබදව වන Beam drawings ද කොන්ක්‍රීට් පුවරු පිළීබදව වන Slab Drawings ද වහලය සදහා Roof Drawings ද ලබා දෙනු ලැබේ. මෙසේ ඉංජිනේරු සහය ලබාගැනීමට  වැයවන මුදල ගැන සිතා වෙනත් අයකුගේ සහය ලබා ගැනීමට යමෙකු සිතුවද එවිට අනවශ්‍ය ස්ථාන වලට අනවශ්‍ය ලෙස කම්බි යොදාගැනීමෙන් අනවශ්‍ය ලෙස විශාල මුදලක් වැය වීම සිදු වේ. ඊට අමතරව එවැන්නකින් ශක්තිමත් විශ්වාසවන්ත නිවාස ඉදිකිරීමක් කිසි ලෙසකත් බලාපොරොත්තු විය නොහැකිය.